Header Ads

කොරෝනා මෘතශරීර ආදාහනය කරන කනත්තට ගියෙමු

ලංකාවේ කැරකෝප්පු අතරින් ප්‍රධාන කැරකෝප්පුව ඇත්තේ බොරැල්ලේය. ප්‍රධානම මෙන්ම එය ලංකාවේ ප්‍රසිද්ධම කැරකෝප්පුවද වේ. රටේ වැඩියෙන්ම ආන්දෝලනයට ලක්වූ කැරකෝප්පුවක් වූයේ බොරැල්ල කනත්තය. එම ආන්දෝලනාත්මක සිද්ධිය වූයේ 1989 නොවැම්බර් 14 වැනිදාය. එදින රාත්‍රියේ බොරැල්ල කනත්තේ ආදාහනාගාරයේ ක්‍රියාකරු සිටියේ නිවසේය. මහ රෑ ඔහු අවදිකර ගත් ආරක්ෂක අංශ නිලධාරීහු ඔහු රැගෙන ආවේ හදිසියේ මිනියක් පුච්චන්නටය. එම මිනිය පුච්චන්නට නීත්‍යනුකූල ලියකියවිලි තිබුණේ නැත. පිලිස්සීමට ගෙනා පුද්ගලයා ආදාහනාගාරයට දැම්මේ පණ අදිමින් සිටියදී බව කියවිනි. එහෙත් තුවක්කුවට බියේ සිය පණ රැක ගැනීමට ආදාහනාගාරයේ ක්‍රියාකරුට එම පුද්ගලයා දවා අළු කිරීමට සිද්ධ විය. එසේ දවා අළු කළේ රෝහණ විජේවීරගේ දේහයය. ඔහුගේ දේහය දවා අළු කිරීමෙන් පසු ගත වූ ඉතිහාසයේ මළසිරුරු ආදාහනය කිරීමක් ගැන රටේ ආන්දෝලනයක් හට ගත්තේ නම් ඒ දෙතුන් සතියක සිටය. නිමිත්ත කොරෝනාවෙන් මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීම නිසාය. කොරෝනාවෙන් මිය ගිය අයගේ සිරුරු දවා අළු කර ඥාතීන් නොමැති නම් ඔවුන්ට අළු දෙන ලෙසට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි ගිය සතියේ අති විශේෂ ගැසැට්ටුවක් ද නිකුත් කළාය. එම ගැසෙට්ටුව නිකුත් කරන්නට පෙර ලංකාවේ කොරෝනාවෙන් මිය ගිය රෝගීන් ගණන හත් දෙනෙකි. ඉන් පස්දෙනකුගේ මළ සිරුරු දවා අළු කළේ කොටිකාවත්ත සුසාන භූමියේය. ඊට හේතුව එම රෝගීන් ප්‍රතිකාර ලැබූ I.D.H. රෝහල, එසේ නැති නම් ජාතික බෝවන රෝග විද්‍යායතනයට කිට්ටුම ආදාහනාගාරය කොටිකාවත්ත ආදාහනාගාරය වීමය. එම ආදාහනාගාරයත් රෝහලත් අතර දුර කිලෝමීටර් දෙකක් පමණය. කොරෝනා මරණ සම්බන්ධව පවතින ජාත්‍යන්තර නීතියට අනුව රෝගයට ගොදුරුව මිය ගිය අයෙකුගේ අවසන් කටයුතු පැය විසිහතරක් ඇතුළත කළ යුතුය. ලංකාවේ දී නම් කෙරෙන්නේ ආදාහනයය. ඊට I.D.H. රෝහලට ළඟම ආදාහනාගාරය කොටිකාවත්තේය.

වසර පනහක ඉතිහාසයක් තිබෙන කොටිකාවත්ත පොදු සුසාන භූමියට අදාහනාගාරයක් ලැබී ඇත්තේ මීට දාහත් වසරකට පමණ පෙරය. ආදාහනාගාරය පටන්ගත් දින පටන් මේ දක්වා ආදාහනාගාර ක්‍රියාකරු ලෙස කටයුතු කරන්නේ ඩී.අයි.ඒ. ලියනගේ ගුණරත්නය. කොරෝනා මරණ ආදාහනය කිරීමේ කටයුත්තේ දී පෙරමුණේ රාළ වන්නේ ද ඔහුය.

වසර දාහතක සේවා කාලය තුළ වසංගතයක් හේතුවෙන් මිය ගිය අයකුගේ දේහයක් ඔහු ආදාහනය කළ පළමු අවස්ථාව මෙයය.

මුලින්ම මේ කාර්යය මට භාර දුන්නාම පුංචි බයක් ඇති වුණා. නමුත් පසුව ඒ භය නැතිව ගියා. ඔහු කියන්නේය. වෙනත් මෘත දේහ මෙන් නොව කොරෝනා රෝගයෙන් මිය ගිය අයගේ මළසිරුරු ආදාහනය කළ නොහැකිය. ඊට ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් ඇත්තේය. එම ක්‍රමවේදය ලියනගේ ගුණරත්නට මෙන්ම ලාංකිකයන් වන අපට ද නුහුරු නුපුරුදු අත්දැකීමකි.

‘‘වෙනදාට නම් මම ගෙදරින් කනත්තට ඇවිත් වැඩට ඇඳුමක් ඇඳගන්නවා. සාමාන්‍යයෙන් වෙනදා දිනකට මරණ දෙකක් පුච්චනවා. ඒවා කරන්නෙ අර වැඩට අඳින ඇඳුම පිටින්ම. නමුත් මට මේ මරණ කටයුතු කිරීමේ දී අමුතුවෙන් ලෑස්ති වෙන්න සිද්ධ වුණා. වෙනදා වැඩට ඇවිත් අඳින ඇඳුම ඇන්දා ඊට උඩින් තවත් ආරක්ෂිත ඇඳුමක් ඇන්දා ඊටත් උඩින් තමයි අර මිනිය චිමිනියට දාලා ඉවර වුණාම අයින් කරන ඇඳුම ඇන්දේ. ඒක මිනිය චිමිනියට දාලා ඉවර වුණාම ගලවලා විනාශ වෙන්න දානවා. මම ඇඳුම් තුනක් ඇඳලා තමයි මේ කාර්යය කරන්නේ.’’

මෘත ශරීරය ආදාහනාගාරයට ඇතුළු කිරීමේ අවස්ථාවට අවසර ලැබෙන්නේ ගුණරත්න ඇතුළු තවත් සිවුදෙනකුට පමණි. එක් අයෙක් ඔහුගේ සහයකයාය. අනෙක් දෙදෙනා මිය ගිය අයගේ ඥාතින්ය. ආදාහනාගාරයට මෘත ශරීරය ඇතුළත් කළ පසුව ඔහුගේ කාර්යය නිමා නොවන්නේය. එය පිලිස්සී අවසන් වනතුරුම ඔහු එතැන සිටිය යුතුය.

මිනිය චිමිනියට දාලා ඊට පස්සේ මට ලොකු කාර්යයක් තිබෙනවා. හැම මිනියක්ම චිමිනියට දාලා එකවරම ගෑස් අරින්නේ නැහැ. එක සුවිච් එකක් දාලා මෘත දේහය දාපු තැන චුට්ටක් ඇරලා බලනවා ප්‍රශ්නයක් නැතිව පත්තු වුණාද කියලා. ඊට පස්සේ තමයි ගෑස් අරින්නේ. නැත්නම් ගෑස් ලීක් එකක් තිබුණොත් පුපුරනවා. මේ මෘත ශරීරත් දාලා මම එහෙම කරනවා. මොකද ගෑස් ලීක් එකක් තිබ්බොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා.’’

මෙකී කාර්යයෙන් පසුව ගුණරත්න ගෑස් දල්වයි. ඉන්පසුව පැය දෙකක් පමණ මෙකී මෘත ශරීර පුච්චයි.

‘‘සාමාන්‍යයෙන් අපි වෙනදා මිනියක් සෙල්සියස් අංශක එක්දාස් දෙසියකට අඩු උෂ්ණත්වයකින් පැය එකහමාරක් පමණ වෙලා පිච්චෙන්න අරිනවා. නමුත් මේ කොරෝනා රෝගයෙන් මිය ගිය අයගේ මෘත ශරීරය සෙල්සියස් අංශක එක්දාහස් දෙසීයත් එක්දහස් හාරසීයත් අතර උෂ්ණත්වයකට පැය දෙකක පමණ කාලයක් පුච්චනවා. මේ පැය දෙකම මම එතැනට වෙලා සිටිනවා.’’

මෘත ශරීරය ආදාහනාගාරයට ඇතුළත් කිරීමෙන් පසුව මෘත ශරීරය ආදාහනාගාරයට දැමීමට උදව් කළ සැවොම විෂබීජ හරණයට ලක් කරයි. ගුණරත්න ද එසේ විෂබීජ හරණයට ලක් වුවද ඔහුගේ කාර්යය අවසන් වන්නේ මෘත ශරීරය පිලිස්සී අවසන්ව එහි අළු ද වැළලීමෙන් අනතුරුවය.

‘‘මෘත ශරීරය චිමිනියට දැම්මට පස්සේ මේ හැම තැනක්ම වාගේ අපිටත් විෂබීජ නැසෙන බෙහෙත් ගහනවා. නමුත් මම අර උඩ ඇඳුම ගලවලා මම නානවා. ඊට පස්සේ මේ මිනී අළු ටික එකතු කරලා අළු ටික මම අපේ කනත්තේ එන තැනක අඩි හතරක පමණ වළක් ගැඹුරට කපලා වළලනවා. මේ සියල්ලම අවසන් වුණාට පසුව මම නානවා ගෙදර ගියාට පස්සේ කනත්තේ ඉඳලා ඇඳගෙන ගිය ඇඳුම් ඔක්කොම ගලවලා හෝදලා නානවා. කොරෝනා මිනී පුච්චපු දවසට මම තුන් පාරක් නානවා.’’

සාමාන්‍යයෙන් මෘත ශරීරයක් ආදාහනය කළ පසු අළු සමඟ මිනී පෙට්ටියේ තිබූ ඇතැම් කොටස් සමඟ කිලෝග්‍රෑම් දෙකහමාරක් තුනක් අතර ප්‍රමාණයක් ඉතිරි වේ. ගුණරත්න කියනා ආකාරයට කොරෝනා රෝගියකු ආදාහනය කිරීමෙන් අනතුරුව ඉතුරුවන්නේ ග්‍රෑම් හත්සිය පනහක පමණ අළු ප්‍රමාණයකි. ගුණරත්නගේ කාර්යය අවසන් වන්නේ එකී මෘත ශරීරයක අළු ටික වැළලීමෙන් අනතුරුවය.

ලියනගේ ගුණරත්න දෙදරු පියෙකි. ඔහුට මෙකී ජාතික කාර්යය පැවරීමෙන් අනතුරුව පවුලෙන් මෙන්ම ගමේ අයගෙන් මුලින් ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නොවේ.

‘‘මුලින්ම නෝනා මම කොරෝනා රෝගීන්ගේ අවසන් කටයුතු කරනවට කැමති වුණේ නැහැ. නමුත් පස්සේ කැමති වුණා. දරුවෝ නම් විහිළුවට කියනවා ‘‘අපෝ ඔයාටත් කොරෝනා හැදෙයි කියලා. අහළ පහළ අය වුණත් මුලදී භය වුණා. නමුත් දැන් හැමෝම මම කරන ක්‍රියාව ගැන කතා කරනවා. කොරෝනා රෝගයෙන් මැරුණු අයගේ ඥාතීන් පවා මට කියනවා ගුණරත්න ඔයා කරන්නේ හොඳ වැඩක් කියලා.’’

වසංගත රෝගියකුගේ මළ ගමත් මීට පෙර ගුණරත්න අතින් සිදු නොවුවද එච්.අයි.වී. රෝගීන් සිවු දෙනකුගේ අවසන් කටයුතු ඔහු විසින් සිදු කර තිබේ.

‘‘ඒ මරණවල අවසන් කටයුතු මේ විදියට කළේ නැහැ. සාමාන්‍ය ආකාරයට කරනු ලැබුවා. එහෙම විශේෂයක් තිබුණේ නැහැ.’’

ගුණරත්න කොරෝනා රෝගයෙන් මිය ගිය පස් දෙනකුගේ මළ සිරුරු ආදාහනය කර ඇති අතර ඉන් සිව්දෙනකු ආදාහනය කර ඇත්තේ කොටිකාවත්ත සුසාන භූමියේය. එක් අයෙකුගේ සිරුර උඩුමුල්ල පොදු සුසාන භූමියේ ආදාහනය කර තිබේ. එය කර ඇත්තේ ද ගුණරත්න විසිනි.’’

‘‘එක මළ සිරුරක් මම උඩුමුල්ල කනත්තේ ආදාහනාගාරයේ දී ආදාහනය කළා. මොකද එදා අපේ ආදාහනාගාරයේ එක ස්විච් එකක් වැඩ කළේ නැහැ. ඒ හින්දා තමයි මාව එතැනට ගෙන ගියේ.’’

එදින එම සිරුර ආදාහනයට ගිය විට උඩුමුල්ල ප්‍රදේශවාසීන්ගෙන් විරෝධයක් පැණ නැගුණේය. ඒ උඩුමුල්ල සුසාන භූමියේ දී කොරෝනා රෝගීන්ගේ ආදාහනය නොපවත්න ලෙසටය. නමුත් මෙකී සියලු විරෝධතා මැඩලමින් අවසන් කටයුතු එතැන කෙරුණි. එහිදී කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මූලිකත්වය ගනු ලැබුවේය. ඔහු කියනා ආකාරයට එකී විරෝධතාකරුවන් අතර වැඩියෙන්ම සිට ඇත්තේ ගම්වාසීන් නොවේය.

‘‘එදා අපිට විරෝධය ආවා. ඒ ඔක්කොම මැඩගෙන අපි අවශ්‍ය කාර්යය හොඳින් කළා. මොකද අපි මීට කලින් මේවාගේ තත්ත්වයකට මුහුණ දීලා තිබුණේ නැහැ. අපිට අමුතුවෙන්ම හැඩ ගැහෙන්න සිද්ධ වුණා. ඉස්සර අපි ආදාහනාගාරයේ කටයුතු කළේ හවස හතර සහ හයට. කොරෝනා රෝගීන්ගේ ආදාහන කටයුතු දැනුම් දුන්න ඕනෑම වේලාවක සිදු කිරීමට අපි සූදානම්වෙලා සිටිනවා. ඒ වාගේම තමයි මේ දවස්වල වෙනත් රෝගයකින් කවුරුහරි මිය ගියත් ඒ නිවැසියන් පැය විසිහතරක් ඇතුළත අවසන් කටයුතු කරනවා. ඒ හින්දා අපි දැන් ඒ අය ඉල්ලන වේලාවල්වලට ආදාහන කටයුතු කරනවා.’’

අයි.ඩී.එච්. රෝහල පිහිටා ඇත්තේ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ බල ප්‍රදේශයේය. එම නිසාම විෂබීජ හරණය සඳහා බොහෝ කරණු කාරණා ප්‍රාදේශීය සභාව විසින් ඉටු කරයි. එපමණක් නොව කොරෝනා රෝගියකුගේ අවසන් කටයුතු සිදු කිරීමෙන් පසුව ආදාහනාගාර භූමිය මෙන්ම ආදාහනාගරය ඇතුළත පවා විශබීජ හරණයට ලක් කරනුයේ ප්‍රාදේශීය සභාව විසිනි.

මෙකී කටයුතු නිසියාකාරව කරගෙන යෑමට ප්‍රාදේශීය සභාවට සවියක් වන්නේ දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයයි එහි වෛද්‍ය නිලධාරීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ය. බොහෝ රෝගී තත්ත්වයන්ට මෙකී පිරිස් මුහුණ දී තිබුණ ද මෙවැනි වසංගත තත්ත්වයකට ඔවුන්ද මුහුණ දෙන ප්‍රථම අවස්ථාව මෙයයි. වෙනදාට එම නිලධාරිහු මෘත ශරීරයක අවසන් කටයුතු සඳහා රාජකාරි මට්ටමින් සහභාගි නොවෙති. නමුත් කොරෝනා රෝගියකුගේ අවසන් කටයුත්තක් සඳහා අනිවාර්යයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයකු සහභාගි වීම අනිවාර්ය වේ. මේ පිළිබඳ අපට අදහස් දැක් වූ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රදීපා ගමගේ මෙසේ කීවාය.

අපි කොරෝනා රෝගීන්ගේ මෘත දේහ පිළිබඳ අවසන් කටයුතු කරන්නේ කෙසේ ද කියා පළමු කොරෝනා රෝගියා මිය යන්නටත් පෙර සිටම අවශ්‍ය වැඩපිළිවෙළවල් පිළිබඳ සාකච්ඡා කළා. එහි දී තමයි මෙකී පිළිවෙතට අනුව ඔවුන්ගේ ආදාහන කටයුතු සිදුකරන බවට තීරණය කළේ වෛද්‍යවරයකු හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අනිවාර්යයෙන්ම මේ සඳහා සහභාගි විය යුතුයි. ඒ අනුව අපේ කවුරුහරි මෙකී අවසන් කටයුතු සඳහා සහභාගි වෙනවා. සහභාගි වන අපේ නියෝජිතයා මේ කටයුතු අවසන් වුණාම අනිවාර්යයෙන්ම විෂබීජ හරණයට ලක්වෙලා තමයි නැවත පැමිණෙන්නේ. කිසිම පැකිලීමකින් තොරව අපේ නිලධාරීන් මෙකී කටයුතු සඳහා සහභාගි වෙනවා.’’

මේ සියලු දෙනාම කොරෝනා රෝගී තත්ත්වයේ දී කටයුතු කරන්නේ රාජකාරියට එහා ගිය වගකීමකින් යුතුවය. අපිට ඒ බව හොඳින්ම පසක් වූයේ ආදාහනාගාරයේ ක්‍රියාකරුවන ලියනගේ ගුණරත්න අවසාන ලෙස අපිට කියූ වචන කිහිපයෙනි.

‘‘මගේ රාජකාරිය තමයි ආදාහනාගාරයට ගෙන එන මෘත ශරීරවල අවසන් කටයුතු කරන එක. නමුත් මම පළමුවෙන් කොරෝනා රෝගියාගේ මෘත ශරීරය පුලුස්සලා ඉවර වෙලා පැතුවේ ආයිත් කොරෝනා රෝගියකුගේ මෘත ශරීරයක් ගේන්න එපා කියලා. අදටත් මම ප්‍රාර්ථනා කරන්නේ කොරෝනාවලින් කවුරුත් මැරෙන්න එපා කියලා.’’

ශිරෝමි රත්නායක

ඡායා – සමන් අබේසිරිවර්ධන | යූ.කේ. අබේරත්න
aruna lk

No comments

Powered by Blogger.