Header Ads

දිලිත් ජයවීරට ආදරයෙනි,

දිලිත් ජයවීරට ආදරයෙනි,
======================
ආදරණීය දිලිත්,

ඒ ආමන්ත්‍රණය කියවනකොටම ලක්ෂ ගණනක් දෙනා මගේ මූණට කෙළ ගහන්න හිතන බව මම දන්නවා. ඒත් මම ඒ අවදානම දරාගෙන ඔබට ඉතා මිත්‍රශීලීව යමක් කියන්න හිතුවා.

පවතින රජයේ අරමුණුවලට සේවය කිරීමේ අභිලාෂයෙන්, ඔබ හිමිකාරිත්වය දරන "දෙරණ" නාලිකාව ප්‍රචාරය කළ වංචනික ප්‍රස්ථාරයක් ඊයෙ fb එකේ වයිරල් වුණ බව ඔබ දන්නවා. එය වැරදි බව පිළිගෙන, නිවැරදි කරන බවට ප්‍රකාශයක් ඔබ කර තිබෙනු අද උදේ දැක්කා. මෙහෙම ලියන්න හිතුණෙ එයින් ඇතිවූ ප්‍රසාදජනක හැඟීම නිසා. ඔබ ගැන බරපතළ විවේචන දරන කෙනෙක් වුණත් මං ඔබේ ඒ නිහතමානී ක්‍රියාවට හිස නමනවා. ඔව්, ඕනැම කෙනෙකුට, ඕනැම වෙලාවක නිවැරදි වෙන්න පුළුවන්!

ඔබ පවතින රජයේ පෙර කාල පරිච්ඡේදයේදී විශ්මිත අයුරින් ධනවත් වූ කෙනෙකු බවත්, නැවත ඒ අය බලයට ගෙන ඒම සඳහා ප්‍රමුඛ පෙළේ වැඩ කොටසක් කළ කෙනෙකු බවත් ප්‍රකටයි. හැම කාලෙකම තිරය ඉදිරිපිටත්, පසුපසත් එවැනි අය හිටියා. ඔබත් එවැනි කෙනෙක්. කමක් නැහැ. ඔබේ පක්ෂපාතී බව, අභිලාෂ පැහැදිලියි. ලෝකය පුරාම ජනමාධ්‍ය හසුරුවන අයට නොයෙක් පක්ෂපාතීකම්, න්‍යායපත්‍ර තිබෙනවා. ශුද්ධ වූ ලෝකෙක නෙවෙයි අපි ඉන්නේ.

ඒත් බලන්න ඔබේ මාධ්‍යවල ප්‍රමිතිය! පසුගිය වකවානුවේ ඒවායේ හැසිරීම ගැන සමාජයෙන් එල්ල වූ විවේචන ඔබ දකින්න ඇති. සැමට සාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක වන රටක් වුණා නම්, ඔබත් ඔබේ මාධ්‍යවේදීන්ගෙන් බොහෝ දෙනෙකුත් මේ වන විට සිටිනු ඇත්තේ බන්ධනාගාරයේයි.

ඔබ පටු ජාතිවාදියෙකු යැයි ඇත්තටම මට හිතන්න බැහැ. ඒත් පසුගිය සමයේ ඔබේ නාලිකාව ජාතිවාදය වපුරමින් කටයුතු කළ ආකාරය ඉතා නින්දිතයි. ඒවා මනුෂ්‍යත්වය අගයන සාධාරණ මිනිසුන්ගේ පිළිකුලට ලක් වූ අයුරු ඔබ දකින්නට ඇති. ඔබ සාධාරණ මිනිසකු ලෙස වහාම නිවැරදි කළ යුතුව තිබුණේ එම වරදයි. (ඇත්තටම එය ජලාශයකට විස මුසු කළාක් මෙන්, ලෝකයකට වෛරසයක් මුදාහැරියාක් මෙන් පහසුවෙන් නිවැරදි කළ නොහැකි වරදක්)

ඔබේ මාධ්‍යවල මේ ආචාරධර්ම විරෝධී, සමාජ විරෝධී හා නීති විරෝධී හැසිරීම නිසා ඒවායේ ප්‍රතිරූපයට, මහජන පිළිගැනීමට සිදු වී ඇති දෙය බලන්න. ඔබේ බ්‍රෑන්ඩ් එකට මොකද වෙලා තියෙන්නේ? "දෙරණ" යන වෙළෙඳ නාමය "ද රෙන" "රෙන නාලිකාව" "අදද රෙන- හෙටද රෙන" ආදී ලෙස අවමානයට පත්ව තිබෙනවා. ඇත්තටම ඒ වෙළඳ නාමයේ දැන් කිසිදු වටිනාකමක් ඉතිරි වී නැහැ.

අපසු හැරී බලන්න ඔබගේ ප්‍රතිරූපයට සිදුව ඇති දේ! මම දෙරණේ හිමිකරු යැයි අභිමානයෙන් කවහැකිද ඔබට? ඔබේ සමීපතමයින්ට, දෙරණ නාලිනාවේ හා පුවත්පතේ හිමිකරු අපේ අසවලා යැයි අභිමානයෙන් කියන්න පුළුවන්ද? මොට්ට සල්ලිකාරයකු නොව, උගත් ව්‍යාපාරිකයකු වන ඔබට උගත්, යුක්තිගරුක මිනිසුන් අතර ඇත්තේ කෙබඳු පිළිගැනීමක්ද?

ආදරණීය දිලිත්,
ශිෂ්ටාචාරය යැයි අප මහ ඉහළින් සැලකූ ගොඩනැඟීම් සියල්ල සොබාදහම ඉදිරියේ කෙතරම් කුඩාද යන්නත්, දෙවියන් මෙන්ම දෙවියන්ගේ මල්ලී යැයි උත්කර්ෂයට නැංවූ මුදලද කොතරම් නොවැදගත්ද යන්නත් කොවිඩ් ඛේදවාචකය අපට ටොකු අනිමින් කියා දෙනවා. මොන තරම් ධනය බලය තිබුණත් මිනිසකුට අවසානයේ ඉතිරි වන්නේ තමන්ට අභිමානයෙන් සිහි කළ හැකි සැමරුම් හා අන්‍යයන් තුළ රෝපණය කළ පහන් හැඟීම පමණයි.

අවසන් වශයෙන් තව එක් දෙයක් සිහිපත් කරමි. "ඩයිනමයිට්" සොයාගත් ඇල්ෆ්‍රඩ් නොබෙල්, තම සහෝදරයාගේ මරණයේදී ඒ ඔහු යැයි වරදවා වටහාගත් මාධ්‍යයක් එය වාර්තා කළ ආකාරය දැක පත් වූ කලකිරීම ගැන ඔබ අසා ඇති. (එහි තිබී ඇත්තේ 'මරණයේ වෙළෙන්දා" මියගිය බවයි) ඒ ඔස්සේ බුද්ධිය අවදි කළ නෙබෙල්, එතැන් සිට කල්පනා කළේ තම මරණින් මතු ලෝකයට ඉතිරි කර යන ප්‍රතිරූපය ගැනයි. ලෝකයට වැදගත්ම මෙහෙවරක් ඉටු කරන මිනිසුන් සඳහා වන නොබෙල් ත්‍යාගය නිර්මාණය කොට, ඒ සඳහා තම ධනය වෙන් කිරීමට ඔහු කටයුතු කළා. අද ලොකයා සමරන්නේ ඒ පුනර්ජීවනය ලැබූ නොබෙල්.

ඔබටත් උවමනාවත් වඩා ධනය තිබෙනවා. බලය තිබෙනවා. ඒත් තමන්ගේ ව්‍යාපාරයේ නාමය අභිමානයෙන් කියන්න බැරි නම් ඉන් ඇති පලය කුමක්ද?

ඉතින් දිලිත්, ඔබත් වෙනස් වෙන්න. පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් එකම රටක සහෝදර ජනතාව කොටවා බේදබින්න කළ, වෛරය වැපිරූ, මිථ්‍යාව හා අල්ලේ පැළවෙන බොරු සමාජගත කොට ජන විඥානය මොට කළ සමාජ විරෝධී කළුසල්ලිකරයකු ලෙස ඉතිහාසගතවෙන්න එපා! නින්දාවට ලක් වූ වෙළඳනාමය අතහැර, ආචාරධර්ම ගරු කරන ජනමාධ්‍ය සතු සැබෑ මෙහෙවරට උර දෙන සත්‍යගරුක හා අපක්ෂපාතී මාධ්‍ය ආයතනයක් අරඹන්න.

හදවතින්ම "ආදරණීය දිලිත්" යැයි ඇමතිය හැකි ආදරණීය මිනිසෙකු වන්න! ඔබට නිදුක් නිරෝගී සුව පතමි!

Jeevantha Liyanage  ‍ගේ ෆේස්බුක් සටහනක්


No comments

Powered by Blogger.