Header Ads

කලු රෙද්දක ඔතා සවුදි ගුවන් තොටුපළට ඇරලූ නරුමයින් ගැන "කාංචනා" කියන කඳුළු කතාව (video)

සවුදි රාජ්‍යයේ ගෘහ සේවය සඳහා පිටත්ව ගිය එක් දරු මවක් බරපතල තුවාල සහිතව ඊයේ (18) නැවත සිය නිවසට පැමිණ තිබෙනවා.

33 හැවිරිදි කාංචනා කුමාරි නමැති මෙම කාන්තාව ගලේවෙල, බඹරගස්වැව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි වාර්තා වන්නේ.

වයස අවුරුදු 04ක් වූ කුඩා දියණිය සැමියා සමඟ නිවසේ දමා මෙම කාන්තාව 2016 සැප්තැම්බර් මස 05 වැනි දින සවුදියේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් තිබුණේ කුරුණෑගල ප්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක මැදිහත්වීමෙන් ඇගේ කැමැත්ත මත ව්‍යාජ ලිපි ලේඛන සකසාගෙනයි.

පසුව සෞදියේ දමාම් ප්‍රදේශයේ නිවසක ගෘහ සේවය සඳහා තමන් යෙද වූ බවත් එම නිවසෙහි සිදුකළ මෙහෙකාර සේවය සඳහා මාස 03ක පමණක් වැටුප් ලැබූ බවත් ඇය කියාසිටියා.

හතරවන මාසය ආරම්භ වනවාත් සමඟ ආහාර, ඇඳුම් පැළඳුම් සහ වැටුප් යන සියල්ල එම ගෙහිමියන් විසින් අත් හිටුවා ඇති අතර ඇයට දැඩි ලෙස පහරදෙන්නට පටන්ගෙන තිබෙනවා.

මේ අතර ඇගේ සැමියා සහ ඥාතීන් විසින් සිදුකළ පැමිණිල්ලක් මත වසරකට පසු එම නිවසෙන් ගැලවී ඒමට කාංචනාට හැකිවී තිබෙනවා.

ඇය ප්‍රකාශ කළේ අවසන් දිනයේද ඉතා අමානුෂික ලෙස තමා ඇඳහුන් ඇඳුම් ගලවා, තමාව කලු පාට රෙදි කැබැල්ලකින් ඔතා ගුවන්තොටුපළට ගෙනැවිත් දැමූ බවයි.

පසුව ගුවන් තොටුපළේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් සායක් සහ හැට්ටයක් තමාට ලබාදුන් බවත් එය හැඳගෙන ලංකාවට පැමිණි බවත් ඇය කියා සිටියා.

මේ වන විට ඇයගේ අත්පාවල බරපතල කැපුම් තුවාල දක්නට ඇති අතර ඇස්වල සහ කොඳු ප්‍රදේශයේ  තුවාල දක්නට ලැබුණා.

නිසියාකාරව ඇවිද ගැනීමටවත් නොහැකි තත්වයකට ඇය පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම කාන්තාවගේ සැමියා වූ සමන් කුමාර බණ්ඩාර කියා සිටියේ තම බිරිඳට වූ අසාධාරණය සම්බන්ධයෙන් වන්දි මුදලක් අවශ්‍ය බවයි.

මේ වනවිට අසාද්‍ය තත්ත්වයේ පසුවන ඇය, ගලේවෙල රෝහලට ඇතුළත් කර තිබෙනවා.


No comments

Powered by Blogger.