Header Ads

සෙන්කෝලයේ ඇති රහසක් එහි නිර්මාතෘ හෙළිකරයි..........සෙන්කෝලය හැදූ පියතිලකට එය ස්පර්ශ කරන්න කතානායක අවසරය ලද මොහොත

පාර්ලිමේන්තුවේ බලය සංකේතවත් කරනුයේ සෙන්කෝලයයි.

1972 ජනරජ ව්‍යවස්ථාවට පෙර උත්තර මන්‍ත්‍රී මණ්ඩලය (සෙනෙට් සභාව) සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ලෙස ද්වී මණ්ඩල ක්‍රමයක් ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තුවේ සෙනෙට් සභා සෙංකෝලය වර්තමානයේ භාවිතයට නොගැනුනද මේ ඓතිහාසික සංකේතය පාර්ලිමේන්තුවේ සුවිශේෂ කෞතුක භාණ්ඩයක් ලෙස ඉතා සුරක්ෂිතව තිබෙනවා.

1949 දී බ්‍රිතාන්‍ය රජය විසින් පරිත්‍යාගයක් ලෙස ලබා දුන් එදා නියෝජිත මන්ත්‍රී මණ්ඩල සැසිවාරවලදී භාවිතා කළ සෙන්කෝලය  වත්මන් පාර්ලිමේන්තුවේ භාවිතා වන අතර,  ශ්‍රී ලංකාවේ කලාකරුවන් විසින් නිර්මිත එකම සෙන්කෝලය සෙනෙට් සභා සෙන්කෝලයයි.

1956 දී තමන්ට ලබා දුන් සැලැස්ම අනුව අගල් 52 කින් දිගින් යුතුව ඇත් දලයකට  කැරට් 20 රන් පවුම් 45 කින් හා  රිදී රාත්තල් 3 ½ කින් කැටයම් දමා පච්චවඩම්, නිල් මැණික් සහ නවවරම් මාණික්‍යයන් ඔබ්බවා නිර්මාණය කරන ලද්දේ එවකට සුප්‍රසිද්ධ විශිෂ්ඨ රන්කරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ රඹුක්කන දොඹේමඩ  ගම්මානයේ පදිංචි ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතා විසින්.

මෙම විශිෂ්ඨ කලාකරුවා අද 88 වන වියේ පසුවනවා.

අඩ සියවසකටත් පෙර  නිමවා භාර දුන් මෙම අතිශය සම්භාවනීය සංකේතය අසලටවත් සමීප වීමට එදා මෙදා තුර ඔහුට වරම් හිමිව නෑ.

දෑත, දෙපය හොදින් වාරු තිබුණු සමයේ තමා විසින් කළ නිර්මාණය ස්වකීය දරු මුණුබුරන් කැටුව විත් යළි ස්පර්ශ කර බැලීමට දැඩි කැමැත්තක් ඔහු තුළ ඇති බව දැනගත් කථානායක කරු ජයසූරිය මහතා අද පෙරවරුවෙහි ඔහු පාර්ලිමේන්තුවට කැඳවා එම අවස්ථාව සැලැස්වූයේ විශේෂ  භෝජන සංග්‍රහයක් සහ තුඩු පඬුරුද පිරිනමමින්.

මෙම සෙන්කෝලයේ උඩ කොටස පෙති අටකින් සමන්විත පත්මයක් මත පිහිටි උල් හැඩයට ඇති පච්චපඩියම් මාණික්‍යයකින් සෑදු ඔටුන්නකින් ගෝලය පුන්කලසක හැඩරුවින් සමන්විතයි.

ගෝලය වටා ඇති රැලිවලින් අනුරාධපුරයේ සඳකඩ පහණ මූර්තිමත් කරයි.

එයට පහළින් ලංකාවේ රක්ත හා නීල මාණික්‍යයන් ඔබ්බවා තිබෙනවා.

සෞරග්‍රහ මණ්ඩලයේ නව ග්‍රහයන් පිළිබිඹු වන සේ පහත කවයෙහි නවරත්න මාණික්‍යයන් සවි කර තිබෙනවා.

සෙන්කෝලය කොටස් 45 කට ගැලවිය හැකි පරිදි එක් රහස් ඇණයකින් සවි කර ඇති බවත් එම රහස් ඇණය ගැන දන්නේ තමා පමණක් බවත් පියතිලක මහතා පවසනවා.

එහි මුළු බර රාත්තල් හතර හමාරක් වන අතර, එහි යෂ්ටිය වටේට එවකට සෙනෙට් සභාවේ ලාංජනයෙහි “සංතින්ද්‍රියෝච නිපකෝච” යන පාලි පාඨය සඳහන්ව තිබූ බව ඔහු පවසනවා.





No comments

Powered by Blogger.