Header Ads

අපි තුන්දෙනා එක එක විදියේ ප්ලෑන් ගැහුවා,අන්තිමට අපි වත්තේ මහත්තයව මරලා වත්තෙම වළලන්න තීරණයකට ආවා

වැරැද්දක් කරලා හැංගිලා ඉන්න පුළුවන් කියලා හිතනවානම් ඒක වැරදියි. මොන වැරැද්ද කළත් තමන්ගේ හදවතට බොරු කරන්න කාටවත්ම බැහැ.

තන්හාව නිසාත් ජීවිතේ හුඟක් දේ නැතිවෙලා යනවා. ඒ වගේ තන්හාවක් නිසා මිනීමැරුමක් සිද්ධ කරලා ජීවිත කාලෙම විනාශ කරගත්ත තරුණයෙකුගේ ජීවිත කතාවයි මේ.


මං ඉගෙන ගත්තේ කොළඹ ඉස්කෝලෙක. අපි හිටියේ ගෙවල් පේළියක. 


මං දන්නෑ මගේ තාත්තා කවුද කියලා. මං හැදුණේ අම්මයි ආච්චියි එක්ක.

ඒත් මං දන්න කාලේ ඉඳලා හිටියේ ආච්චි අම්මගේ තුරුලේ. ආච්චි අම්මා කවදත් මට ආදරෙන් සැලකුවා.

මං අම්මව දැක්කේ දවල්ට විතරයි. කවදාවත් මං අම්මා රෑට ගෙදර ඉන්නවා දැකලා නැහැ. මගේ අම්මා හරි ලස්සනයි."

"අම්මා කවදාවත් මා එක්ක එයාගේ ජීවිතේ ගැන කතා කෙරුවේ නැහැ.

මම දැනුම් තේරුම් වයසට එද්දි අම්මා මගෙන් ටිකෙන් ටික ඈත් වුණා. ඒත් අම්මා මං වෙනුවෙන් කරන්න ඕන හැමදේම කෙරුවා.

අපි දෙන්නගෙ අතරමැදියා වුණේ ආච්චි අම්මා. මං මට මොනව හරි ඕන වුණාම ආච්චී අම්මට කියනවා. එයා ඒක අම්මට කියනවා."

"මට අවුරුදු දහඅට සම්පූර්ණ වෙද්දී ආච්චී අම්මා නැති වුණා.

ඊට පසුසේ මං හුඟාක් තනිවුණා. ආච්චි අම්මගෙ මරණය දවසේ අම්මා හොඳටම ඇඬුවා.

වත්තේ මිනිස්සු එක එක දේවල් කිව්වා. මමත් හොඳටෝම ඇඬුවා. ආච්චි අම්මගෙ හත් දවස ඉවර වුණාට පස්සේ අම්මා වෙන කවරදාටවත් වඩා මට ළං වුණා.

අම්මා මාව එයාගේ තුරුලට අරන් ඇඬුවා. මම අම්මව බදාගෙන ඇඬුවා. අපි දෙන්නම අඬලා ඉවර වුණාට පස්සේ අම්ම මට එයාගේ කතාව කිව්වා.

නන්නාඳුනන පිරිමියකුගේ අතින් අමාරුවේ වැටිච්ච හැටි. මං ඉපදුන හැටි. තාත්තා කෙනෙක් නැතිව මාව හදාගත්ත හැටි.

අම්මා පාරට වැටුණු හැටි හැම දෙයක්ම කිව්වා. අම්මගෙ ජීවිත කතාව සුන්දර නැහැ. මං අම්මට කිව්වා ආයෙත් ඒ රස්සාවට යන්න එපා කියලා. අපි ආයෙත් අලුත් ජීවිතයක් පටන් ගමු කියලා අම්මා මං කියපු හැම දේටම කැමති වුණා.

අපි දවසක් වත්තේ කාටවත්ම නොකියා එතැනින් පිටවුණා. අපිට අරගෙන යන්න කියලා කිසිම වටිනා දෙයක් ඒ ගෙදර තිබුණේ නැහැ.”

අම්මයි මමයි පත්තරේ දැකපු දැන්වීමකට දුර පළාතක තිබුණ ඉඩමක් බලාගන්න ගියා.

මට ඉගෙනගන්න එක එපා වුණා. මට ඕන වුණේ මගේ අම්මව ඒ පව්කාර ජීවිතයෙන් ගලව ගන්න.

අම්මා ජීවිතයේ පරණ දේවල් ඔක්කෝම අමතක කරලා හිනා වුණා. අපි ඒ පොල්වත්ත බලාගත්තා.ඒ වත්තේ තිබුණ පුංචි ගෙදර අපි නතර වුණා.

ඒ ජීවිතය හරිම සුන්දරයි. අපිට මහා ලොකු බලාපොරොත්තු තිබුණේ නැහැ. අම්මා පෝයට පන්සල් ගියා.

සිල්ගත්තා. මට අවුරුදු විසි පහ සම්පූර්ණ වුණාට පස්සේ අම්මට ඕන වුණා මාව කාට හරි බන්දලා දෙන්න. අපි හිටපු පොල් වත්තට එහායින් තිබුණ වත්ත බලාගන්න හිටියා පවුලේ ලස්සන ගෑනු ළමයෙක් හිටියා.

මං ඒ ළමයට කැමැත්තෙන් හිටපු බව අම්මා දන්නවා. කාගෙවත් අකමැත්තක් නොතිබුණ නිසා අපි කසාද බැන්දා.

ඒත් ගෑනු ළමයගේ අයියලා ටික මටත් වඩා හරිම දඩබ්බරයෝ. අපි වත්තේ මහත්තයට ගේමක් දෙමු ද..? අයියලා දෙන්නා මගෙන් ඇහුවා.

මං දැනගෙන හිටියා මගේ අම්මා මේ වැඩවලට කැමති වෙන්නේ නැති බව. ඒත් අයියලා දෙන්නා මට සුන්දර ලෝකයක් පෙන්නලා දුන්නා.

අපි කොහොමහරි කරමු.එතකොට මේ අක්කර ගාන අපිට බෙදාගන්න පුළුවන්. හැමදාම අපි මුරකාරයෝ වෙන්න ඕන නැහැනේ. අයියලා එහෙම කිව්වා.

වත්තේ මහත්තයා මාසයකට වතාවයි වත්තට ආවේ. ඒ ආවෙත් තනියම. අපි තුන්දෙනා එක එක විදියේ ප්ලෑන් ගැහුවා. අන්තිමට අපි වත්තේ මහත්තයව මරලා වත්තෙ වළලන්න තීරණයකට ආවා.

මට බාර වුණේ වළ කපන්න. මම දවස් හතක් රෑ තිස්සේ වළ කැපුවා. අපේ අම්මයි, සමන්තියි මේ කිසිම දෙයක් දන්නේ නැහැ.

මහත්තයාව කොහොම මැරුවද කියන්න මං දන්නෑ. අන්තිමට මම මහත්තයගෙ මිනිය වැළලුවා.

අපි කවුරුත් දැනගෙන හිටියෙ නැහැ මහත්තයට දරුවෝ හිටියා කියලා.

ඒක එහෙම වුණේ මහත්තයා කවදාවත් අපි කා එක්කවත් ඒ දේවල් කියපු නැති නිසා. ඒත් මහත්තයා මරල දාලා මාසයකට විතර පස්සේ මහත්තයාගේ දුවෙකුයි පුතෙකුයි මහත්තයාව හොයාගෙන ආවා."

ඒත් මහත්තයාගේ දරුවෝ වත්තට ආවේ පොලිසියත් එක්කං.

පොලිසියෙන් හරියට ප්‍රශ්න කළා. මාව අහුවුණේ නැහැ. මං හිටියේ අපේ වත්තේ. නමුත් සමන්තිගේ අයියලා ගැන පොලිසියට මුල ඉඳලම අවිශ්වාසය තිබිලා තියෙනවා.

පොලිස් බල්ලෝ ගෙනැල්ලා දාලා වත්ත පුරාම හොයන්න ගත්තා. අහල පහළ වතුවල අයත් එදා වත්තට ඇවිත් තිබුණා.

ඔය සිද්ධියෙන් පස්සේ තමයි මහත්තයාගේ මිනිය හොයාගත්තේ. එදා වළ කපන වෙලාවේ මම ඇඳගෙන හිටපු කිළුටු සරම ඒ වත්තේ දාලා ඇවිත් තිබුණා.

පොලිස් බල්ලෝ මේ ඔක්කෝම හොයාගත්තා. ඒ සේරම පොලිසියට අහුවුණා. මට නොකිව්වට කවුදෝ නීතිඥයෙකුත් අල්ලගෙන අයියලා දෙන්නා ඔප්පු ලියන්නත් ලෑස්තිකරගෙන තිබිලා. 
මට අවුරුදු විස්සක දඬුවමක් නියම වුණා. එදා අම්මා හොඳටෝම ඇඬුවා. සමන්තිට ඒ වෙනකොට දරුවා ලැබෙන්න හිටියේ. සමන්තිත් ඇඬුවා. මේක මම කරපු පවක්..

මං ජීවිතේ ගැන එහෙම හිතන්නේ නැහැ. මට ජීවිතේ හදා ගන්න තිබුණා. අම්මගේ ජීවිතේ ගොඩගත්ත මට අන්තිමේ දී මගේ ජීවිතේ හදාගන්න බැරිවුණා. ඒ දේවල් එහෙම වුණේ මුදල් තණ්හාවට හිත ගිය නිසයි.

මං හිරේ ආවා. අයියලා දෙන්නට මට වඩා ලොකු දඬුවමක් ලැබුණා. මං ඒ දෙන්නා එක්ක කතා කරන එක අත්හැරියා.

"අම්මයි බිරිඳයි දැන් ඉන්නේ වෙන පළාතක. මගේ බිරිඳ රස්සාවකට යනවලු. අම්මා දරුවා බලා ගන්නවා. මං හිරගෙදර. මට මගේ දරුවා බලන්න ආසයි. හුරතල් කරන්න ආසයි. ඒත් මං හිරකාරයෙක්.

මං දන්නවා මං වැරදියි කියලා මං දැන් බණ අහනවා. භාවනා කරනවා. මං කාටවත් වෛර කරන්නේ නැහැ. කවදා හරි මේ හිර ගෙදරින් එළියට ගිහිල්ලා මගේ දරුවා බිරිඳ අම්මා එක්ක සතුටින් ඉන්න එක තමයි මගේ එකම සිහිනය."

No comments

Powered by Blogger.